අපට හිනාවුන කෝලිලා විස දුමට හිරවී කබරයා දමයි

සත්කාරක ඉන්දීය කණ්ඩායමට හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර නවදිල්ලි නුවර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ ලකුණු 410ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි දිනයට තරගය නිමා කරන විට ශ්‍රී ලංකාව කඩුලු තුනකට ලකුණු 31ක් රැස්කරගෙන අසීරු තත්ත්වයක සිටියේය. ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 7ක් ඇතුළත ශ්‍රී ලංකාව ලකුණු 379ක් රැස්කළ යුතු වෙයි. දිමුත් කරුණාරත්න 13, සදීර සමරවික්‍රම 5, සුරංග ලක්මාල් 0 දැවී ගිය ක්‍රීඩකයෝ වෙති. ජඩේජා කඩුලු දෙකක් හා සාමි එක් කඩුල්ලක් දවා ගත්තේය. නවදිල්ලි නුවර වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකා-ඉන්දියා තෙවන ටෙස්ට් තරගයට දෙවන දිනයේ සිට වරින් වර බාධා ඇති වූ අතර ශ්වසන ආබාධයන්ට ලක්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දැඩි අසීරුතාවකින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පෝතාස් මාධ්‍ය හමුවේදී පවසා තිබිණි.තරඟය පැවැත්වෙන ෆෙරාශ්ලා කොට්ලා ක්‍රීඩාංගනය පිහිටා තිබෙන්නේ මේ වනවිට ලොව වැඩිම වායු දූෂණයක් පවතින නගරය වන දිල්ලි නගරයේ වන අතර මෙහි වාසය කරන පුද්ගලයකුට ශ්වසනය මඟින් දිනකට දුම්වැටි 50ක අන්තර්ගත විස ශරීරගත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර මෙවන් තත්ත්වයක් තිබියදීත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරත වූ බවට ඉන්දීය විස්තර විචාරකයන් මැසිවිලි නැඟීම හාස්‍යයට කරුණකි.

මෙම වායු දුෂණය නිසා දිල්ලි නුවර පාසල් කිහිපයක් වසා දමා ඇති බවත් ශ්වසන ආබාධ නිසා පුද්ගලයන් වැඩි වශයෙන් රෝහල් ගත වන බවද පැවසේ.මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර නව දිල්ලි නුවර ෆේරොස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයේදී නැවතත් පන්දු රකින ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු නැවතත් මුඛ ආවරණ සහිතව පිටියට පිවිසියේය.ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජයද සිල්වා ඒ අතර වෙති. නව දිල්ලි නුවර වායු දූෂණය හේතුවෙන් ඔවුහු මුඛ ආවරණ පැළඳ ක්‍රිඩා කරති.තරඟයේ දෙවැනි ඉනිමේ හොඳින් පන්දු යවමින් සිටි සුරංග ලක්මාල් නැවතත් පළමු ඉනිමේ මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාව නිසා අපහසු තාවයට පත්වෙමින් වමනය කරන ආකාරයත් පසුව පිටියෙන් ඉවත්වන ආකාරයත් දැකගත හැකි විය. මෙලෙස ඉතා අපහසුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අපහාස වන අකාරයෙන් දිගින් දිගටම ප්‍රකාශ නිකුත් කරන ඉන්දීය ක්‍රීඩා විචාරකයන් තම වැරැද්ද වසා ගැනීමට “සුරංග ලක්මාල් වමනය දැම්මේ හදිසි ගැබ් ගැනීමක් නිසා” යැයි පැවසුවද පුදුම විය යුතු නැත්තේ ඉන්දියානු විචාරකයන්ගෙන් මීට වඩා හොඳ සැලකිල්ලක් අපේක්ෂා කල නොහැකි නිසාය.

මෙම තරඟයේ ප්‍රතිපලය කුමක් වුවත් ඉතිහාසයට එක් වන්නේ ඉන්දීය තරඟ සංවිදානයේ සිදුවූ විශාල අඩුපාඩුවක් සහිත තරඟයක් ලෙසය.එලෙස ශ්‍රී ලංකාවට සිනාසුන ඉන්දියාවටත් අද තරගයේ අවසාන භාගයේදී නොසිතු සිදුවීමකට මුහුණ පෑමට සිදුවිය.ඒ ඉන්දීය පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සාමිද එකවරම වමනය පිට කිරීම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *