ඉන්දියානුවන්ගේ සිහිනය බොඳවූ රොෂේන් සහ ධනංජයගේ සුපිරි පිති ප්‍රහාරය – වීඩියෝ

ඉන්දියානු කණ්ඩායමේ ජයග්‍රාහී බලාපොරොත්තුව අහුරා දැමූ ශ්‍රී ලංකා පිතිකරුවන් දිල්ලි නුවර පැවැති තෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය ඊයේ (06 දා) ජය පරාජයෙන් තොරව අවසන් කර ගත්තේය. නමුත් තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලියේ ජය 1-0 ක්‌ ලෙස ඉන්දියානුවන්ට හිමිවිය.ජයග්‍රහණය සඳහා ලකුණු 410 ක ඉලක්‌කයක්‌ හඹා ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායමට ධනංජය ද සිල්වා දායාද කළ ශතකය (119) සහ රොෂේන් සිල්වාගේ අර්ධ ශතකය (74) හමුවේ ජවය ලබමින් ඉදිරියට යද්දී ශ්‍රී ලංකාවට විටෙක ජයග්‍රහණයේ සේයාවක්‌ දිස්‌විය. පන්දු ඕවර 17 කදී ජයග්‍රහණය සඳහා කඩුලු පහක්‌ අතැතිව ශ්‍රී ලංකාවට ලකුණු 127 ක්‌ ලබා ගැනීමට තිබුණද ලොව අංක එකේ ටෙස්‌ට්‌ කණ්‌ඩායමට එරෙහිව එය හඹා යැම රෑ වැටුන වළේ දවල් වැටීමක්‌ බඳු විය. තරගය නවතා දැමීමට පැය භාගයක්‌ ඉතිරිව තිබියදී දෙපිලේම එකඟතාවයෙන් තරගය අතහැර දැමීමට තීරණය කරන විට ශ්‍රී ලංකාවට පන්දුවාර අටකදී ජයග්‍රහණයට ලකුණු 111 ක්‌ අවශ්‍යව තිබුණි.දෙරට අතර පැවැති ටෙස්‌ට්‌ තරග 44 කදී ජය පරාජයෙන් තොරව අවසන් වූ 17 වැනි ටෙස්‌ට්‌ තරගයද මෙය විය. ඉන්දියානුවන්ගේ සිහිනය බොඳ කර දැමූ ධනංජය ද සිල්වා සිය තෙවැනි ටෙස්‌ට්‌ ශතකය වාර්තා කරමින් සිටියදී පාදයේ ආබාධයක්‌ හේතුවෙන් ක්‍රීඩාගාරයට යන විට පන්දු 219 කදී හතරේ පහර 15 ක්‌ සහ හයේ පහරක්‌ සමඟ ලකුණු 119 ක්‌ ලබා සිටියේය.මීට පෙර ධනංජය ද සිල්වා ඔස්‌ටේ්‍රලියාවට (129) සහ සිම්බාබ්වේට (119) එරෙහිව ශතක වාර්තා කර තිබූ අතර මෙය ඔහුගේ 11 වැනි ටෙස්‌ට්‌ තරගය විය.ඊයේ උදෑසනම ඇන්ජලෝ මැතිව්ස්‌ ජදේජාගේ පන්දුවකට දැවී යැමත් සමග ශ්‍රී ලංකාව දැඩි අසීරුතාවකට පත්වුණි. නමුත් ජදේජා යෑවූ එම පන්දුව නිපන්දුවක්‌ වුවද දකුණු අප්‍රිකානු විනිසුරු ජොයෙල් විල්සන්ට සහ තෙවැනි විනිසුරුවරයා වූ ඉන්දියානු ජාතික අනිල් චවුද්රි එය නොදැකීමෙන් මැතිව්ස්‌ට ක්‍රීඩාගාරයට යැමට සිදුවිය. එවැනි දැවී යැමක්‌ දිනේෂ් චන්දිමාල්ට සිදුවුවද එය තෙවැනි විනිසුරුට යොමු කිරීමෙන් නිපන්දුවක්‌ බව සංඥා කෙරිණි. අනතුරුව චන්දිමාල් සහ ධනංජය ලකුණු 35 ට කඩුලු 4 ක්‌ අහිමිව තිබූ ශ්‍රී ලංකා ඉනිමේ පස්‌වැනි කඩුල්ලට ලකුණු 112 ක සබඳතාවක්‌ දායාද කිරීමට සමත් වූහ.

සිය මංගල ටෙස්‌ට්‌ තරගයට ක්‍රීඩා කරන රොෂේන් සිල්වා දෙවැනි ඉනිමේදී පළමු අර්ධ ශතකය නොදැවී ලබා ගත්තේය. තරගය නිමා වන විට රොෂේන් සිල්වා පන්දු 154 කදී හතරේ පහර 11 ක්‌ සමග ලකුණු 74 ක්‌ද නිරෝෂන් දික්‌වැල්ල පන්දු 72 කදී හතරේ පහර හයක්‌ සමග නොදැවී ලකුණු 44 ක්‌ ද, ලබා සිටියේය. ඔවුන් දෙදෙනා හයවැනි කඩුල්ලට නොබිඳුනු ලකුණු 94 ක්‌ දායාද කිරීමට සමත් වූහ. තරගාවලියේ වීරයා ලෙස ඉන්දියානු නායක විරාට්‌ කෝලි සම්මාන ලැබීය. දෙරට අතර තරග තුනකින් සමන්විත එක්‌දින තරගාවලිය ලබන 10 වැනිදා ආරම්භ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *