ඇන්ජලෝ මැතිව්ස් ගැන අවසන් තීරණය 07 වැනිදාට.. ධනංජයද සිල්වා ගැන තීරණයක් ගනියි..

බංග්ලාදේශය,ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගි වන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීම මෙම මස (05දා) සිදු කරන බවත් ආබාධයකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස් සංචිතයට ඇතුළත් කරන්නේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව බවත් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා අද පුවත්පතට සදහන් කර ඇත.ඉන්දියාව සමග පැවැති දෙවැනි විස්‌සයි විස්‌ස තරගයේදී යළිත් පාදයේ ආබාධයකට ලක්‌වූ ඇන්ජලෝ මැතිව්ස්‌ට සම්පූර්ණ සුවය ලැබීමට සති හතරක පමණ කාලයක්‌ ගත වන බවට කණ්‌ඩායම් භෞතචිකිත්සකවරයා මීට පෙර පවසා තිබුණි.එමෙන්ම පසුගිය ඉන්දීය තරගාවලියේදී ආබාධයකට ලක්වූ ධනංජය ද සිල්වා බංග්ලාදේශ තරගාවලියේ පුහුණුවීම් සඳහා කැඳවූ බවත් ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්ව ඇති බවත් ග්‍රැහැම් ලැබ්‍රෝයි පවසා සිටියේය.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා, “අපි බංග්ලාදේශ තුන්කොන් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය තෝරාගන්න බලාපොරොත්තු වන්නේ 05 වැනිදායි. ඒවගේම මේ වනවිට ආබාධයකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය තිබෙන්නේ 07 වැනිදා. ඉතින් බංග්ලාදේශ තරගාවලියට මැතිව්ස්ගේ සහභාගිත්වය තීරණය වන්නේ එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අනුවයි.තවම ඒ සම්බන්ධයෙන් අපට කිසිවක් ප්‍රකාශ කරන්න අමාරුයි. අපි බංග්ලාදේශ තුන්කොන් තරගාවලියට තෝරාගත් 23 දෙනාගේ මූලික සංචිතයට ධනංජය ද සිල්වා ඇතුළත්ව සිටියේ නැහැ. ධනංජයට පසුගිය කාලේ තරග තිබුණෙත් නැහැ. ඔහු ඉන්දියාවේදී ආබාධයකට ලක්වුණු නිසා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය තිබුණේ පසුගිය සිකුරාදා. ඒකෙන් ඔහු සමත් වුණා. ඒ නිසා අපි ඔහුවත් මූලික සංචිතයට කැඳෙව්වා. මේ වනවිට ධනංජයත් මූලික සංචිතය සමග පුහුණුවීම් කරනවා” යැයි ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *